‌ගීතයක පද අරුත

Sinhala song Meaning

Friday, June 2, 2017

මේ තරම් සියුමැලිද කලු ගල්

තුංකම හාමුදුරුවන් විසින් ලියා එවන ලද මේ තරම් සියුමැලිද කලු ගල් ගීතයේ පද අරුත thumbnail 1 summary










තුංකම හාමුදුරුවන් විසින් ලියා එවන ලද මේ තරම් සියුමැලිද කලු ගල් ගීතයේ පද අරුත




                                         වර්තමානයේ දී ඉතා වේගයෙන් ගීත රචනා වන ආකාරයක් දැකගත හැකිය. විශේෂයෙන්ම අද තරගයකට මෙන් ගීත රචනා බන සේයාවක් දැකගත හැකිය. එසේ රචනා වන ගීත අතුරෙන් අමරණීය ගීත රචනා නොවන තරම්ය. අද '' ගීතයක පද අරුත'' සදහා යොදා ගනු බලන්නේ මෑත කාලයක දී රචනා වූ එකී අමරණීය ගීතයකි. එනම් ලාංකීය සුභාවිත ගීතයේ නොමැකෙන මතක සටහන් තබමින් රජි වසන්ත වෙල්ගම නම් ගීත රචකයා අතින් නිමැවුණු දර්ශන රුවන් දිසානායකයන් විසින් සංගීතවත් කළ ආචාර්ය සුනිල් එදිරිසිංහ ශූරයන් විසින් ගායනා කළ " මේ තරම් සියුමැලි ද කලු ගල් " නම් ගීතයයි. මෙම ගීතය වර්තමාන සහෘද ජනතාව තුළ හද වැළද ගත් ගීතයක් ලෙස සාමාන්‍ය ආදරය, විරහවා වැනි මාතෘකා වලින් ඔබ්බට ගිය වෙනස් ම මාතෘකාවක් යටතේ මේ ගීතය රචානා වී ඇත මෙම ගීතය තුළ ප්‍රධාන වශයෙන්ම මාතෘකා කර ඇත්තේ අතීතයේ සිටි කලාකරුවෙකුයි. එම කලාකරුවාගේ ජීවිතය හා චරිතය මෙම ගීතය මගින් ඉස්මතු කර දැක්වීමට ගීත රචකයා උත්සහ දරා ඇත.
                                                        මේ ගීතය තුළින් ඉස්මතු කරන කලා චරිතය නම් ශිලා නිර්මාණ සිදු කළ කලාකරුවෙකුගේ චරිතයයි. ගීතයේ පද දෙස බැලූවිට පෙනී යන්නේ එයයි. එහෙත් මෙම ගීතයේ පද දෙස සියුම්ව බැලුවහොත් ඊට එහා ගිය සැබෑවටම කලාවට ආදරය කරන අහිංසක දුප්පත් කලාකරුවෙකුගේ රසෝරාවය මේ ගීතය තුළ දැකිය හැකිය. රජි වසන්ත වෙල්ගම මහතා ඒ කලාකරුවා පිළිබදව දක්වන්නේ මෙලෙසය.

 " මේ තරම් සියුමැළි ද කළුගල් 
    හිතන්නටවත් බැරි නිසා 
    මම ගියා අවුකන බුදුන්ටත් 
   දෑස දුන් මිනිසා සොයා " 

                                             අනුරාධපුර රාජධානි සමය ආරම්භයත් සමග ලෝකයේ අනෙකුත් ශිෂ්ටාචාරයන් වලට වඩා දියුණු ශිෂ්ටාචාරයක් ගොඩනැගී තිබුණි. සරළව පැවසුවහොත් සුද්දා මළපහ කිරීමට කැළයේ පදුරක් පහත් කරනා සමයේ අපේ සිංහලයේ කලු ගලින් තැනූ වැසිකිළි පාවිච්චි කළහ. අතීතයේ සිටම අපේ කලාකරුවන් කලු ගලින් විවිධ නිර්මාණයන් සිදු කළහ. ඒ අතර අදටත් ලෝක පූජිත සමාධි බුදු පිළිමය, අවුකන බුදු පිළිමය විශිෂ්ට නිර්මාණයන් ලෙස සළකනු ලබයි. වෙල්ගම මහතා විසින් ප්‍රධාන වශයෙන් ම මෙම ගීතය හරහා ඉස්මතු කරන්නේ අවුකන බුදු පිළිමය තැනූ කලාකරුවාය. 
                                                  ඓතිහාසික ශිලා නිර්මාණ අතර ප්‍රධාන තැනක් හිමි කර ගන්නා අවුකන පිළිමය දෙස කලාත්මක ඇසකින් බැලුවහොත් එය සැබැවින්ම කලු ගලින් නිමයන ලද්දක්දැයි සැක සිතෙන තරමට විශ්මජනක අයුරින් නිමවා ඇත. ඒ පිළිබදව ගීත රචකයා දක්වන්නේ මෙලෙසය. 

 " මේ තරම් සියුමැළි ද කළුගල් 
   හිතන්නටවත් බැරි නිසා " 
                                                වර්තමානයේ මෙන් අතීතයේ දී යාන්ත්‍රික තාක්ෂණය නොදියුණු සමයක මෙවැනි නිර්මාණයන් සිදු කළ අයුරු අදටත් පුදුමය උපදවන දෙයකි. මෙම අවුකන පිළිමය දෙස හොදින් බලන්නෙකුට බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටින සේයාවක් දක්නට ලැබේ. ගී පද රචකයා මේහරහා ඉස්මතු කරන්නේ මෙකී අවුකන බුදු පිළිමය නිමැවූ කලාකරුවාය. 

 " මම ගියා අවුකන බුදුන්ටත්
  දෑස දුන් මිනිසා සොයා " 

                                             අවුකන බුදු පිළිමය නිර්මාණය කරපු ඒ අපූරු කලාකරුවා මෙම ගීතයේ තේමාව බව ගීත රචකයා ඒ හරහා දක්වයි. එම කලාකරුවාගේ ජීවන තත්ත්වය පිළිබදව ගීත රචකයා දක්වන්නේ මේ ආකාරයටය.

 " කලාවැව ළඟ ඉලුක් හෙවණක 
   මැටි පිලක පැදුරක් එලා 
   රිදුම් පිරිමදිමින් බලයි ඔහු 
  මැරෙන ඉපදෙන රළ දිහා "  

                                             මෙම කලාකරුවා සියලු සැප සම්පත්වලින් යුක්ත අධි සුඛෝභෝග ජීවිතයක් ගත නොකළ අයෙකු බවත් ඔහු ඉතා දුප්පත් අහිංසක මිනිසෙකු බව ගීත රචකයා" කලා වැව ළග ඉලුක් හෙවණක - මැටි පිලක පැදුරක් එලා.." යන පබැදුමෙන් දක්වයි. කලා වැව අසල ඉලුක් ගස්වලින් වහළය සෙවෙලි කළ, මැටියෙන් තැනූ පැලක පැදුරක් එලා විවේකීව මෙම කලාවරුවා සිටින බව ගී පද රචකයා දක්වයි. රලු කලු ගල් එක්ක පොරබදා සියුම් නිර්මාණ කරන ඔහුගේ සිරුරේ රිදුම් ඔහුම පිරිමදිමින් කලා වැවේ ජලය සුලගට නටන ආකාරය දෙස නෙත් යොමා බලා හිද තම විඩාව මහන්සිය නිවා ගන්නා බවක් ගීත රචකයා දක්වයි. සැබෑ කලාකරුවා යනු සිය නිර්මානයන් දෙස බලා තමාම සතුටු වන පුද්ගලයෙකි. ඔහු තමන්ගේ නිර්මාණයන්ට ආදාරය දක්වන වා මිසක් ඒ හරහා ලෙෳකික සැපසම්පත් සොයා නොයන්නෙකි. අතීතයේ සරලව ජීවත් වූ කලාකරුවා ජීවිතයේ පවතින අනියත බව මනාව වටහාගත් පුද්ගලයෙකි. ඒ බව ද ගීත රචකයා ඉතා අපූර්වතම යෙදුමක් භාවිතා කරමින් ඉදිරිපත් කරයි. එනම්,

 " මැරෙන ඉපදෙන රළ දිහා " 

                                                 සෑම ජීවිතයකට පොදු වූ ධර්මතාවය මේ ගීතයේ ඇති මතු දැක්වූ පද ත්‍රිත්වයෙන් ඉතා සරළව ගීපද රචයා පෙන්වා දී තිබේ. ගී පද රචකයා තවදුරටත් මේ කලාකරුවාගේ සරළ බව සහ ඔහුගේ ජීවිතය ගැන දක්වන්නේ මෙලෙසය.

 " ඉසුරුමුණියේ නුඹ තැනූ 
   පෙම්බරිය කොතැනද කියා 
   මා ඇසූ විට හිනැහුණා ඔහු 
   තාම තනිකඩ යැයි කියා " 

                                           ඉතා දක්ෂ ලෙස ඉසුරුමුණියේ පෙම් යුවල නිර්මාණය කර ඇත. ශාලිය අශෝකමාලා ප්‍රේම වෘතාන්තයට අනුව එය නිමැවු බවට උගතුන් තුළ මතයක් පවති. කෙසේ වෙතත් එහි ආදරයෙන් එකට වෙලී සිටිනා යුවලක් දක්නට ඇත. ආදරය ඉස්මතු වි පෙනෙනාකාරයට එය නිමවා ඇත. කෙසේ වෙතත් මෙම නිර්මාණය සිදු කළ කලාකරුවා එය නිමවන විටත් තනිකඩ පුද්ගලයෙකු බව ගීත රචකයා දක් වන්නේ මෙලෙසය..

 " මා ඇසූ විට හිනැහුණා ඔහු
    තාම තනිකඩ යැයි කියා " 

                                           ඇතැම්විටෙක කලාකරුවා තම ජීවිතයම කැප කරන්නට ඇත්තේ තම කලා කටයුතු සදහා පමණක් ම විය යුතුය. එහෙත් ඒ පිළිබදව ඔහු තුළ කිසිදු දුකක් හෝ පසුතැවීමක් නොමැත. ඔහු නිරන්තරයෙන් සිනා මුසු මුහුණින් සිටි. ජීවත් වීමට ඔහුට අවැසි ධෛර්ය ශක්තිය ඇත්තේ ඔහුගේම නිර්මාණයන් තුළය. මේ අනුව වර්තමානයේ රචනා වන ගීත අතරේ මෙම ගීතය අමරණීය වන්නේ මේ මතු දක්වන්ට යෙදුණු කරුණු නිසාය. අද තරගයකට මෙන් ගීත රචනා කළ ද ඒවා රසවිදිය නොහැක. වෙල්ගමයන් විසින් රචනා කළ දර්ශන රුවන් විසින් සංගීතය මුසු කළ ආචාර්ය සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කළ මෙකි ගීතය ශ්‍රවණයටත්, රසවිදීමත් සහෘදය මීට පුරා වසර ගණනකට පෙර අතීතයට රැගෙන යන මෙම ගීතයෙහි පද අරුත මෙසේ දැක්විය හැකිය. මිනිසා යනු එකිනෙකාට වෙනස් අදහස් ඇති ජීවි පිරිසකි. ඒ නිසා මීට වඩා වෙනස් අයුරකින් මේ ගීතය තවකෙකු රසවිදිය හැකිය. ඒ නිසා මේ පිළිබදව ඔබේ අදහස් මාවෙත දන්වන මෙන් ඉල්ලා සිටිමි.. සියලු දෙනාට තෙරුවන් සරණයි෴


 ෴ තුංකම හාමුදුරුවෝ


                               සින්දුව මෙතනින් අහන්න..


No comments

Post a Comment